Saturday, June 2, 2018

සුබාවිත ගීතයේ පරිහානිය



        කලාව වනාහි මිනිසා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙනයන්නකි. කලාව යනු පුළුල්ව විහිදී ඇති ක්ෂේත‍්‍රයකි.  නව කතා, කෙටි කතා, වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත‍්‍රපටි, චිත‍්‍ර, ලේඛන කලාව, නර්ථන කලාව, වාදනය, සංගීතය වැනි පුළුල්ව විහිදී ගිය මාවතේ මංසලකුණු කීපයකි. මෙහිලා ප‍්‍රධාන කාර්යය මිනිසා ආනන්දයට පත් කොට ඒ තුළින් ප‍්‍රඥාව කරා ගෙන යාමයි. ගීතය එකී කලාවේ එක් අංගයකි. අත්තනායක හේරත් මහතාට අනුව ගීතය විනාඩි තුනක විප්ලවයකි. පද රචකයා, ගායකයා, තනු නිර්මාණය කරන්නාගේ එකතුවෙන් තැණුනු අභිමානවත් සාහිත්‍යාංගයකි. ඒ අනුව ප‍්‍රතිභානය, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය, පරිකල්පණය සහ අනුභූතීන්ද අවංක ගේය පද රචනයක ප‍්‍රකට සුවිශේශී සාහිත්‍යාංගයකි. සෑම පුද්ගලයෙකුටම අදහස් හා හැඟීම් කියාපෑමට ඔවුනොවුන්ට ආවේනික වූ බස් වහරක් තිබේ. එකී බසට සාහිත්‍ය ගැබ් කොට ඇත්තේ හැඟීම් හා අදහස් ප‍්‍රබල ලෙස පැවසීමටය. එයට ගීතයක් ඇත්තේ එම හැඟීම් හා අදහස් රසවත් ලෙස පැවසීමටය. එය සියුම් වූද ප‍්‍රබල වූද භාව ප‍්‍රකාශන මාධ්‍යක් මෙන්ම ප‍්‍රාසාංගික නිර්මාණයකි. එසේම මෙය මිනිසා අතින් නිර්මිත අපූර්ව නිමැවුමකි. ගීතය එයටම ආවේනික නෛසර්ගික වූ අවියෝජනීය අංගයන්ගෙන් හා ගතික ස්වරූපයන්ගෙන්ද සමන්විත වූවකි.
   සිංහල ගීතය අනෙකුත් සාහිත්‍යාංග මෙන්ම කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් පරිවර්තනයන්ට බඳුන් වෙමින් පරිනත වන්නකි. එය චතුර්වේදයේ සෝම යාගය දක්වා වූ ඉතිහාසයකට උරුමකම් කියයි. සිංදු යන්න මුලින්ම හමු වන්නේ 15 සියවසේ තිසර සංදේශයේ එන පංදු කෙළ යළි කියමින් සිංදු යන පද්‍ය පාඨයෙනි. තවද ගුත්තිලයද මෙයට සාක්ෂි එක් කරන්නේ  කියමින් සොඳ ගී සිංදු ලෙසිනි. පසුව අධිරාජ්‍යවාදී බලපෑම සමඟ බයිලා, කපිරිඤ්ඤා, කැරොල් ගීත සංස්කෘතියක්ද මෙරට බිහිවිය. 1948 සිංහල චිත‍්‍රපට, ගීතයට කරනු ලබන ප‍්‍රවර්ධනීය බලපෑම සුළුපටු නොවේ. 1960 දී පමන සිංහල ගීතය නූතනත්වයට පය තැබීමේ විෂම සංකීර්ණ අනුභූතීන් රැුසක ආභාෂය ලැබිනි. මෙකී ආ නව ගමන්මගේ ටී.එම් ජයරත්න, විශාරද නන්දා මාලනී, විශාරද ගුණදාස කපුගේ, ලූෂන් බුලත්සිංහල, සුනිල් එදිරිසිංහ, එඞ්වඞ් ජයකොඩි, පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, වැනි විදග්ධ සංගීතමය සහභාගීත්වය මෙහිදී අගය කළ යුතුය.
       මෙලෙස ක‍්‍රමිකව ප‍්‍රශස්ථ මට්ටමින් විකාශනය වෙමින් පැමිණි සිංහල ගීත සාහිත්‍යයට වර්තමානයේ සිදු වී කර ඇති පරාභවය අතිශයින්ම කනගාටුදායකය. සියල්ල රුපියල් සත මත තීරණය වන ෆැන්ටසි සමාජ ක‍්‍රමය නොහොත් වාණිජත්වය, සරළ බව,  ඕලාරික බව, ජනප‍්‍රියත්වය හා තරඟකාරීත්වය ආරෝපනය වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. වර්තමානයේ විනාඩියකට ගීත සිය ගණනක් නිර්මාණය වේ. හතු පිපෙන්නා සේ එකතු වන මෙම ගීත නිර්මාණ නොව, ක්ෂණික නිෂ්පාදනයන් බව පෙනේ. සුභාවිත ගීත නිර්මාණයක් සදහා පද රචනය, ස්වර නිර්මිත සහ සුගායනීය බව යන ත‍්‍රිත්වයම මනා ලෙස සුසංයෝග විය යුතුය. වර්තමානයේ මුදුන් මුල සිදී ගිය හරසුන්, බොළඳ, පුජුප්සාජනක ගීත නිෂ්පාදනය වන සාහිත්‍යයක් බවට පත්ව තිබේ. තාවකාලික තාක්ෂනික සහ ලෞකික ආශ්වාදය පමනක් අරමුණු කරගත් මෙම ඊනියා ගීතවල වාචාල බවකින් හා විලාප ස්වරූපයේ යාදිනි බවකින්ද යුක්ත වේ. ඊටම සරිලන සර්ව පිත්තල බොල් හඩක්ද, කන් බිහිරි වන වාද්‍ය වෘන්දයන්ගෙන් සපයයි. සන්දර්භය, ආකෘතිය මෙන්ම අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කරන විට මත් තුඩු සහ මත්දාව්‍ය නිෂ්පාදන බෙදා හැරීම් හා ඒවාට හුරු කිරීම් මේ හරහා සිදු වේ. ඒ අනුව වත්මන් ගීතය සමාජයට හා සමාජ සාරධර්මයන්ට අන්තරායකාර ක‍්‍රියා සිදු කරයි. මෙම ඊනියා ගීත වලින් සමාජ සාරධර්මයන්ට, යහපැවැත්මට, රසවින්දනයට විචාරයට සහ ප‍්‍රශස්ථ නිර්මාණකරණයට කරනු ලබන විනාශය අති විශාලය. එය කෙතරම්ද යත් ලොවක් දනින් වැටෙන මවකගේ චරිතය නිරූපනය කරන කාන්තාව අඩ නිරුවත්ව හෝ නිරුවත්ව ගනිකා සේවනයට මෙන්ම වල්මත් වී රගන රැගුම් මෙම ගීත වල කෙලවරක් නැත. ඒ වගේම රාග මතයටත්, මත් දාව්‍ය වල බමන මතයටත් ගැළපෙන පරිදි රිද්ම රහිත විකාර රූපී රංගනයන්ටත් හසු කරමින් ගීතය වාණිජකරණයට ලක් වීම වත්මන් ගීත සාහිත්‍ය තුළ සුවිශේශී අංගයක්ව පවතී.
      සිංහල ගීතයක කලාත්මක මිහිරියාව අද විඳිනවාට වඩා විදවන්නට සිදු වී තිබේ. ජන විඤ්ඤානය ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙනයාම වෙනුවට සිදුව ඇත්තේ ගුණාත්මක සෝදාපාලූවකි. ලෞකික ආශ්වාදය ඇති තරම් ලබා දෙන ස්කාගාරයක් බවට සිංහල ගීත සාහිත්‍ය පත්ව තිබේ. වර්තමානයේ විද්‍යුත් මාධ්‍ය තුළ ගීතය වෙනස් කිරීමට දෙඇස් උපයෝගී කර ගැනීමට සිදුව තිබේ. අතීතයේ ගීතය චම්පු, විරිදු, බයිලා, කපිරිඤඤා, ලෙස වර්ග කිරීමට හැකි වුවද වර්තමාන ගීතය කුමන නිර්ණායකයක කුමන ආකෘතිමය ව්‍යුහයකට හසු කල හැකිද යන්න ගැටලූවකි. මෙයට විශේෂයෙන්ම රූපවාහිණිය, ජංගම දුරකතනය, පරිඝනකය, අන්තර්ජාලය ආදී ක‍්‍රමවේද වල ප‍්‍රභල සහයෝගයක් පවතී. කෙසේ වෙතත් අපූර්ව වූ ගීතයක සුන්දර ආශ්වාදනීය වින්දනය සුවසේ විඳීමට අවැසි නිර්මාණාත්මක පසුබිම හා රුවින් හා ගුණින් වඩා වර්ධනය කර ගැනීමට ක‍්‍රියා කිරීම තරුණ අප කාගේත් වගකීමකි. අද වන විට ගුණාත්මකව පරිහාණියට පත්ව ඇති ගීතයේ ප‍්‍රභූත්වය රැුක ගනිමින් රසිකත්වයට, වින්දනයට, විචාරයට හා මානසිකත්වයට සරිලන පරිදි සුභාවිත හා ප‍්‍රභූත්ව ගීත නිර්මාණකරනයට යොමුවීම තරුණයින් ලෙස අපේ වගකීමකි.  

17 comments:

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...